Friday, November 30, 2012

නික්මෙමි ....


 



සඳ තරු නොපැතුවේ අහසම නුඹ හින්දා
නොදුටිමි අහස රළු බව නෙතු අඳ හින්දා
පැතුමන් පිරූ එදවස දුක වැඩි හන්දා
නික්මෙමි සබඳ මතකය නුඹ වෙත රන්දා
 
නොතිර වූ සසර පෙර එක මග යන්න ඇතී
එදවස පිරූ පෙරුමන් මදි වෙන්න ඇතී
නුඹ සිත් අහස වට වැස්සක් වෙන්න බැරී
නික්මෙමි සබඳ එබැවින් අද දුකක් නැතී
 


Sunday, November 25, 2012

ඉකිබිඳිනවද කෞමදී ????


අවර සිඹ හිරු සැඟව යනතුරු මඟ බලා උන් සිත් දිදී
තඹර පෙති ගිලි දිය තලා මත සිසි උවන රූ රැස් අඳී
සුපුල් හද මත දිදුල පෙම විඳි අකල් වියොවක දුක රැඳී
සිනා පෙති යට කඳුළු සඟවා ඉකිබිඳිනවද කෞමදී  ????

Friday, September 14, 2012

ඇරඹුමක්....


ඉසිඹුවක් නොවේ තව  විඩා හරිනට නිතී
ඇරඹුමක් අත වනයි නිම්නයට දුර ඇතී
මල් තුහින පෙති ඉහින අහස් ගඟ දුක හිතී
පාට පාවඩ එලයි හැඟුමකට එති එතී

බලන් නිදි වැටී හිඳි තනිකමේ තටු ඇරී
දුරින් දුර පියාඹා හුදකලා දොස් හරී
ඇට මිදුළු විනිවිදව හැඟුම් සහසක් පිරී
හදේ හැම කවුළුවක පියන්පත් දිග හරී

දෝරෙ ගලනා සිහිල් චුම්බනය තොල් පෙතී
නෑර එකිනෙක කොමළ සුමුදු පහසක එතී
සිඳී දුක් කැටි අඳුරු අතීතය මත ඇතී
පහන් එළි තවරවයි දිවි තුරෙහි එති එතී

Monday, September 10, 2012

ගෝතමිය ඇය..





 

පුතුන් පණ රිසි සොයා ගෙන් ගෙට
අබ මිටක් යැදි ගෝතමිය ඇය
කලක් මතකයි මටත් හොඳටම
අපෙ ගෙදරටත් ඇවිත් ගිය වග

 
දිනෙක මහ මග හමුවීය ඇය
කඩමාළු ඇඳ බොහෝ තුටු ලෙස
කිරි සුදින් ඇඳි පුතුත් අරගෙන
ඇදුනු හැටි සිප් කිරි පොවන්නට

ඇට ගැසුනු ගත වේද පණ නල
හිතුණු වර නම් අනන්තය මට

මහා කළු ගල් තල තලා ඇය
යහන තැනවිය පුතුට නිදනට
 


දුටිමි ඈ පුතු උස්ව ගිය අද
කිරුළු දරමින් වියත් සබ මැද
දැනුණි සතුටක් සිහිව එදවස
සිතුණි ඇය ලොව දිනා ඇති වග

අනෝරාවකි ඒත් මංසල
පාළු නැත දන දුවති ඔබ මොබ

තෙමුණු සළු පිළි හනික ඇදගෙන
ලංව බැලුවෙමි කිමද වග තුග

ගලන රුහිරය ගලක වැදි හිස
දසත විසිරුණු දිරපු රෙදි’තර
පඬු ගැහී ගිය බිලිඳු ඇඳුමකි

ඇගේ තුරුලේ තවම වෙව්ලන


බිඳුනේ මංමය, රිදුනේ මටමය..

 



 

ගල්කුළ බිඳින්නට
පැන්නෙමි ඉහළ සිට පහළට
බිඳුනේ මංමය
රිදුනේ මටමය
ගල්කුළ තවම එහෙමම...

අම්මලා...


 

ඇකය තුරුලට ඇදෙන නෙක සිදු පපා සෙනෙහස වැලඳ ගන්නී
ලෙහි හොවා සමසිතින් උනුහුම් ජීවිතේ උන් හට පුදන්නී
ඉකිබිඳින හඬ හො හෝ හඬ මැද වසා රැළි සිනහා නගන්නී
රැයද දහවල එකලෙසින් සිය දරුවෝ රකිමින් දිවි ගෙවන්නී


දරා සැඩ හිරු රශ්මි මත්තෙන් වලාකුලු මත නංවලා
සදෙව් ලොව වෙත දරුවෝ යවනට සියලු දුක් කඳ ඉවසලා
පලිඟු මුතු කැට කොරල් රත්මිණි ලොවට පුද දී සනසලා
අඳුරු දුක් කඳ වසා ලොවටම නිල්ල පෙන්වති අම්මලා

මතක ඔලොගුව

 
ඈ, සියළු දෙන වෙහෙසව
දාදිය වගුරමින් දුවන සඳ
සෙමින් පිය මං කළාය...
වෙහෙස නොපෑවාය...

කර මත මහමෙරක් වූ ඔලොගුව
සැහැල්ලු ලෙස
ඔසවා ගෙන ආවාය..
ගිමන් හැරියාය..


හුදකලා මතක කණු

සෙමින් ස්පර්ශ කළාය..
එකින් එක විසිතුරු දෑ
ඔලොගුවෙන් පිටට ගෙන
සිතින් සිම්බාය..


මතක ඔලොගුව  කරපින්නගෙන
පය ඉක්මන් කළාය...